අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර, මහා භාණ්ඩාගාරයේ සිදුවූ මෙම ආන්දෝලනාත්මක මුදල් ගනුදෙනුව පිළිබඳව එළඹෙන පාර්ලිමේන්තු සැසියේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) හමුවේ විවෘත පරීක්ෂණයක් පවත්වන ලෙස “ෆ්‍රී ලෝයර්ස්” (Free Lawyers) සංවිධානය ඉල්ලීමක් කර තිබේ. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව පාර්ලිමේන්තුව සතු බලතල අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
විගණකාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම විමර්ශන කඩිනම් කළ යුතු බවත්, මහජන මුදල් අවභාවිත වීම වැළැක්වීමට පාර්ලිමේන්තුව වගකීමෙන් බැඳී සිටින බවත් එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.














