ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට මෙරට මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන ‘වමිල් දෙවින්ද’ නැමැත්තාගේ සමීපතම සහකාරියක හෙරොයින් මත්ද්‍රව්‍ය සහ මුදල් ද සමඟ අත්අඩංගුවට ගැනීමට මොරටුව විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් සමත්ව ඇත. පෙරේදා (25) පස්වරුවේ ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත් මෙම සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 940ක් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 80,000ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූයේ මෙරගල් පේඩිගේ විනීතා කාන්ති නැමැති කාන්තාවක වන අතර, ඇය දීර්ඝ කාලයක සිට වමිල් දෙවින්දගේ උපදෙස් මත රත්මලාන සහ මොරටුව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකාරිය සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන සඳහා පිළියන්දල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, මොරටුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සාර්ථක වැටලීම සිදු කරන ලදී.














