ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ස්වාභාවික ආපදාව ලෙස සැලකෙන ‘දිට්වා’ සුළිකුණාටුව මෙරටට බලපෑම් කර අදට (27) හරියටම මාස තුනක් සපිරෙන අතර මෙම මහා ව්‍යසනයෙන් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 650ක් වන අතර අතුරුදන් වූ 173 දෙනෙකු පිළිබඳව අදටත් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. 2025 නොවැම්බර් මස අගභාගයේදී ශ්‍රී ලංකාවට දකුණු මුහුදු කලාපයේ හටගත් පීඩන අවපාතයක් සුළිකුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පැය 24ක් තුළ මිලිමීටර් 540ක අතිවිශාල වර්ෂාපතනයක් ඇදහැලුණු අතර එමඟින් දිස්ත්‍රික්ක 25න් 22කටම දැඩි හානි සිදු විය. මෙම ආපදාවෙන් නිවාස 6,018ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර තවත් නිවාස 108,879කට අර්ධ වශයෙන් හානි සිදු වූ අතර ලෝක බැංකු වාර්තාවලට අනුව යටිතල පහසුකම් සහ කෘෂිකර්මාන්තයට සිදු වූ සෘජු භෞතික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් ලෙස තක්සේරු කර ඇත. අද වන විටත් පවුල් 1,150ක් සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින අතර තවත් පවුල් 43,831ක් තම නිවෙස් අහිමි වීම හේතුවෙන් තවමත් වෙනත් ස්ථානවල අවතැන්ව ජීවත් වෙති.
විපතට පත්වූවන් යළි නගා සිටුවීම වෙනුවෙන් රජය විසින් ආරම්භ කළ සහන වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක වන අතර එහිදී නිවාස පිරිසිදු කරගැනීම සඳහා ලබා දෙන රුපියල් 25,000ක දීමනාව සුදුසුකම් ලැබූවන්ගෙන් 98.07%කට මේ වන විට ලබා දී අවසන්ය. එසේම නැවත පදිංචියට අවශ්‍ය කරන මුළුතැන්ගේ බඩු මුට්ටු හා අත්‍යවශ්‍ය ගෘහ උපකරණ මිලදී ගැනීමට රුපියල් 50,000ක දීමනාවක් ලබා දෙන අතර පෙබරවාරි මස 20 වැනිදා වන විට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගෙන් 90.75%කට එම මුදල් ලබා දී තිබීම විශේෂත්වයකි. මෙම සහන වැඩසටහන් හරහා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය සහ දෛනික කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට රජය අඛණ්ඩව මැදිහත් වෙමින් සිටින අතර මෙවැනි දරුණු ආපදා තත්ත්වයන්ට අනාගතයේදී මුහුණ දීම සඳහා වඩාත් විධිමත් යටිතල පහසුකම් පද්ධතියක අවශ්‍යතාව ද මෙමඟින් යළිත් අවධාරණය කර ඇත.














