දිවයින පුරා පොලිසිය ක්‍රියාත්මක කළ විශේෂ අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී ගතවූ පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 549 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර එම මෙහෙයුමේදී පුද්ගලයින් 29,608 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. එහිදී අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් 26 දෙනෙකු සහ විවිධ අධිකරණ මගින් නිකුත් කර තිබූ වරෙන්තු ලාභීන් 519 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. මීට අමතරව මාර්ග විනය පවත්වාගෙන යාම සඳහා සිදුකළ පරීක්ෂාවලදී බීමත් රියදුරන් 309 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,392 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. අපරාධ මැඩලීම සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිසිය මෙලෙස මෙහෙයුම් දැඩි කර ඇති අතර බීමත් රියදුරන්ට සහ මාර්ග නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ඉදිරියටත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කළේය.














