නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනයට අයත් දෙහිවල ඉඩමක් ව්‍යාජ ලෙස බදු දීමේ සිද්ධියට අදාළව අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක නොකර පොලිසිය නීතිපති උපදෙස් පතමින් අධිකරණය නොමග යවන බවට අගතියට පත් පාර්ශ්වය අද (පෙබරවාරි 27) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී දැඩි චෝදනා එල්ල කළේය. රුපියල් ලක්ෂ 36ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන මෙම නඩුවේදී, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මීට පෙර අවස්ථා දෙකකදී ලබා දුන් පැහැදිලි නියෝග පොලිසිය විසින් පැහැර හැර ඇති බවත්, විමර්ශන අවසන් කිරීමටත් පෙර ගොනුව නීතිපතිවරයා වෙත යොමු කරමින් ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය. කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ප්‍රකාශ වූ අතර, අදාළ දේපළ බදු දීමට වසන්ත සමරසිංහ මහතාට නීත්‍යානුකූල අයිතියක් නොමැති පසුබිමක ඔහු සැකකරුවෙකු ලෙස නම් නොකිරීම යුක්තිය ඉටු වීමට බාධාවක් බවද අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් විය.














