මෙරට විදුලි බල උත්පාදනය සඳහා ආනයනය කරන ලද ගල් අඟුරු බාල තත්ත්වයේ පවතින බවට එල්ල වන චෝදනා හමුවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කරමින් විපක්ෂය ප්‍රකාශ කරන්නේ, රජය මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.
විපක්ෂයේ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව එක්කෝ විදුලිය කපා හැරීමට හෝ නැතිනම් පවතින පාඩුව පියවා ගැනීමට ජනතාව මත විදුලි බිල පැටවීමට සූදානම් වන බවයි. “ආණ්ඩුව දැන් ඉන්නේ මූණ පුරාම ගල් අඟුරු ගාගෙන තටමන තත්ත්වයක. එක්කෝ මේගොල්ලෝ කරන්ට් කපනවා, නැත්නම් බිල වැඩිකරනවා. එහෙමත් නැත්නම් අහම්බෙන් ලයිට් ගියා කියලා ජනතාව රවට්ටනවා” යනුවෙන් ඔවුහු අවධාරණය කරති.
නොරොච්චෝලේ බලාගාරයට ගෙන්වන ලද ගල් අඟුරුවල කැලරි වටිනාකම අවම වීම හේතුවෙන් විදුලි ජනනය අඩාල වී ඇති බවත්, එමගින් සිදුවන මූල්‍ය පාඩුව පියවා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 13.56ක විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බවත් වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට නැවතත් බිල වැඩි කිරීමේ බර පැටවීම අසාධාරණ බව විපක්ෂය වැඩිදුරටත් කියා සිටියි.














