ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව අද (28) උදෑසන ඉරානයට එල්ල කළ පූර්ව භංග ප්‍රහාර මාලාවේදී ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) ආරක්ෂාව සඳහා රැඳී සිටි බව කියන රහසිගත බංකරය සහ නිල නිවාස සංකීර්ණය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ජෙරුසලම් පෝස්ට් (Jerusalem Post) පුවත්පත වාර්තා කරයි. ඉරාන බලධාරීන් විසින් ප්‍රහාරයට පෙර උත්තරීතර නායකයාව ටෙහෙරාන් නුවරින් බැහැර රහසිගත ස්ථානයකට යොමු කළ බව රොයිටර් පුවත් සේවය තහවුරු කළ ද, ඔහු අවසන් වරට රැඳී සිටි ස්ථානය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ප්‍රහාරයෙන් පසුව නිකුත් වූ නවතම චන්ද්‍රිකා ඡායාරූප මගින් මෙම බංකරය පිහිටි සංකීර්ණයට දැඩි හානි සිදුව ඇති බව තහවුරු වන අතර, 86 හැවිරිදි උත්තරීතර නායකයාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් වී නොමැත. මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් එරට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රතිප්‍රහාර හමුවේ වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස සියලුම පුරවැසියන්ට ජාතික මට්ටමේ අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.














