බහරේනයේ මැනාමා අගනුවර පිහිටි ඇමරිකානු 5 වන නාවික බලඇණි මූලස්ථානය (NSA Bahrain) ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයෙන් පසු, කඳවුරේ සැලකිය යුතු කොටසක් ගින්නෙන් විනාශ වෙමින් පවතින බව නාසා (NASA) ආයතනයේ චන්ද්‍රිකා ඡායාරූප සහ ‘ෆර්ම්ස්’ (FIRMS) තාප දර්ශක දත්ත මගින් අද (02) තහවුරු කර තිබේ. චන්ද්‍රිකා දත්තවලට අනුව, කඳවුරේ ඉන්ධන ගබඩා සහ සේවා මධ්‍යස්ථාන පිහිටි ‘ජුෆෙයාර්’ (Juffair) කලාපය තුළ දැඩි තාප විමෝචනයක් (Thermal Anomalies) නිරීක්ෂණය වන අතර, එයින් නැගෙන කළු දුමාරය කිලෝමීටර් කිහිපයක් ඈතට විහිදී යන අයුරු දර්ශනය වේ. වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරන්නේ කඳවුරේ මධ්‍යම අණදෙන ගොඩනැගිල්ලට (NAVCENT Building) සහ රේඩාර් පද්ධතිවලට (Radomes) බරපතල හානි සිදුවී ඇති බව චන්ද්‍රිකා දර්ශන මගින් තහවුරු වන බවයි.
මෙම තත්ත්වය හමුවේ ඇමරිකානු නාවික හමුදාව විසින් ‘ජුෆෙයාර්’ කලාපයේ වෙසෙන සියලුම සෙබළුන් සහ කොන්ත්‍රාත්කරුවන් ආරක්ෂිත හෝටල් වෙත ඉවත් කිරීමට (Evacuation) පියවර ගෙන ඇත. බහරේන ආරක්ෂක අංශ පවසන්නේ මිසයිල සහ ෂාහෙඩ් ඩ්‍රෝන යානා 50කට අධික සංඛ්‍යාවක් විනාශ කිරීමට තමන් සමත් වූ නමුත්, ඉන් කිහිපයක් කඳවුරු පරිශ්‍රයට පතිත වී මෙම විනාශය සිදු කර ඇති බවයි. ඇමරිකානු පෙන්ටගනය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයෙන් දේපළ හානි සිදුවුවද, සෙබළුන් කලින්ම බංකර් වෙත යොමු කර තිබූ බැවින් ජීවිත හානි අවම කර ගැනීමට හැකි වූ බවයි. කෙසේ වෙතත්, නාසා දත්ත මගින් පෙන්නුම් කරන පරිදි කඳවුරේ මෙහෙයුම් කටයුතු ඉදිරි දින කිහිපය තුළ දැඩි ලෙස සීමා වනු ඇතැයි බුද්ධි අංශ විශ්වාස කරයි.














