ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍ය සතු ඩියාගෝ ගාර්ෂියා යුද කඳවුර භාවිත කිරීමට අවසර ලබාදීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් වෙත සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ. ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේ, අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගැනීමට අනවශ්‍ය ලෙස කාලය වැය කළ බවත්, මෙවැනි ප්‍රමාදයක් දෙරට අතර සබඳතාවල මීට පෙර කිසිදා සිදු නොවූවක් බවත්ය. ඉරාන මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කරගත් මෙහෙයුම් සඳහා බ්‍රිතාන්‍ය කඳවුරු භාවිතයට අවසානයේ අවසර ලැබුණද, එය “සීමිත භූමිකාවකට” පමණක් යටත් විය යුතු බවට අග්‍රාමාත්‍ය ස්ටාමර් පනවා ඇති කොන්දේසි සහ නීතිමයභාවය පිළිබඳ ඔහුගේ දැඩි අවධානය ජනාධිපති ට්‍රම්ප්ගේ විවේචනයට ලක්ව ඇත.














