උතුරු කොරියානු නායක කිම් ජොන් උන් (Kim Jong Un) එරට අලුතින් නිෂ්පාදනය කරන ලද ටොන් 5,000ක නවීනතම නාවික විනාශක නෞකාවක (Naval Destroyer) සිට ක්‍රියාත්මක කළ “මූලෝපායික කෲස් මිසයිල” (Strategic Cruise Missiles) පරීක්ෂණයක් ඊයේ (04) නිරීක්ෂණය කර තිබේ. ‘චෝයි හියොන්’ (Choe Hyon) ලෙස නම් කර ඇති මෙම දැවැන්ත යුද නෞකාව නිල වශයෙන් සේවයට එක් කිරීමට පෙර එහි සාගරයේ සිට ගොඩබිමට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇත.
මෙම නව නෞකාව උතුරු කොරියාවේ මුහුදු සීමාව ආරක්ෂා කිරීමේ “නව සංකේතයක්” ලෙස කිම් ජොන් උන් හැඳින්වූ අතර, එහි ඇති මිසයිල පද්ධතිය රටේ ආරක්ෂක ශක්තිය තහවුරු කරන ප්‍රධානතම සාධකයක් බව ඔහු අවධාරණය කළේය. කලාපීය ආරක්ෂක තත්ත්වය උණුසුම් වෙමින් පවතින පසුබිමක උතුරු කොරියාව සිදුකළ මෙම හමුදා ප්‍රදර්ශනය අසල්වැසි දකුණු කොරියාවේ සහ අමෙරිකාවේ දැඩි අවධානයට ලක්ව තිබේ.














