මැදපෙරදිග කලාපය තුළ යුදමය තත්ත්වය උත්සන්න වීමත් සමඟ, කටාර් රාජ්‍යය වෙත අමතර ‘ටයිෆූන්’ (Typhoon) ප්‍රහාරක යානා හතරක් යැවීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් (Keir Starmer) අද (05) ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍යය සතුව නිවැරදි ආරක්ෂක සැලසුම් පවතින බව ඔහු මෙහිදී අවධාරණය කළේය. ඉරාන අර්බුදය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය අනුගමනය කරන මධ්‍යස්ථ පිළිවෙත සහ සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ ඔවුන්ගේ හමුදාමය ශක්තිය පිළිබඳව මිත්‍ර රටවල් අතර සැකයක් මතු වී ඇති පසුබිමක මෙම තීරණය ගෙන තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මීට පෙර ස්ටාර්මර් පාලනය විවේචනය කළේ ඉරානයට එල්ල කරන ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍යය ප්‍රමාණවත් සහායක් ලබා නොදෙන බව පවසමිනි. කෙසේ වෙතත්, තමාගේ අවධානය යොමුව ඇත්තේ ජාතික අභිලාෂයන් වෙනුවෙන් සන්සුන් සහ බුද්ධිමත් නායකත්වයක් ලබා දීමට බවත්, යුද්ධය ආරම්භ වීමට පෙර සිටම කලාපය පුරා හමුදා උපකරණ ස්ථාපිත කර ඇති බවත් අගමැතිවරයා පැවසීය. කටාර් වෙත යවන මෙම අමතර ප්‍රහාරක යානා මගින් කලාපය තුළ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මෙහෙයුම් සහ මිත්‍ර රටවල සුරක්ෂිතභාවය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.














