මුහුදුබත් වූ ඉරාන යුද නෞකාවලින් බේරාගත් නාවිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරනුයේ එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ ජාත්‍යන්තර නීති රාමුවට අනුකූලව බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි. නවදිල්ලියේ පැවැති ‘රයිසිනා සංවාද’ සංසදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය බදාදා ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකානු සබ්මැරීනයක් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාව ගිල්වා දැමූ අතර, ඉන් දිවි බේරාගත් නාවිකයන් 32 දෙනෙකු මෙරට නාවික හමුදාව විසින් රෝහල් ගත කරන ලදී. මේ අතර, පානදුර මුහුදු සීමාවට පැමිණි ‘IRIS Bushehr’ නෞකාවේ සිටි තවත් නාවිකයන් 204 දෙනෙකු ද ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන වැලිසර නාවික කඳවුරේ රඳවා සිටියි.
මෙම නාවිකයන් නැවත ඉරානයට භාර නොදෙන ලෙස ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති පසුබිමක, ශ්‍රී ලංකාව සිය ස්ථාවරය ලෙස ප්‍රකාශ කර සිටින්නේ ඕනෑම තීරණයක් ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව ගන්නා බවයි.














