2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උද්යෝගිමත් අවසාන මහා තරගය හෙට එනම් මාර්තු 08 වනදා ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙවර ලෝක කුසලාන ශූරතාවය සඳහා සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය එකිනෙකාට එරෙහිව තරග වදිනු ඇත. අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකාව පරදා කඩුලු 9ක විශිෂ්ට ජයක් ලැබූ නවසීලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර දෙවන අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ලකුණු 7කින් පරාජය කළ ඉන්දියාව අවසන් සටන සඳහා සිය ස්ථානය වෙන් කරවා ගත්තේය.
ඉන්දියාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ඇති සිවුවැනි අවස්ථාව මෙය වන අතර ඔවුන් මින් පෙර 2007 සහ 2024 වසරවලදී ශූරතාව දිනා ගැනීමට සමත් විය. නවසීලන්තය අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2021 වසරේදී ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. දෙපිල අතර පැවැති අතීත තරග දත්ත දෙස බැලීමේදී සමස්ත විස්සයි-20 ජාත්‍යන්තර තරග 30කින් 18ක ජය ඉන්දියාවට හිමිව ඇති අතර 11ක ජය නවසීලන්තයට හිමිව තිබේ. කෙසේ වෙතත් ලෝක කුසලාන ඉතිහාසයේ මෙම කණ්ඩායම් දෙක මුණගැසුණු අවස්ථා තුනේදීම ඉන්දියාව පරාජය කිරීමට නවසීලන්තය සමත්ව තිබීම විශේෂත්වයකි.
සූර්ය කුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතය සහ මිචෙල් සෞට්නර්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත සංචිතය හෙට දිනයේදී මෙම තීරණාත්මක ශූරතාව වෙනුවෙන් සටන් වැදීමට සූදානමින් සිටියි. අහමදාබාද්හි ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් මැද පැවැත්වෙන මෙම තරගය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ අනාවැකි පළ කරති.














