මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය මධ්‍යයේ, ඕනෑම ආරක්ෂක තර්ජනයකට මුහුණ දීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පූර්ණ සූදානමින් පසුවන බව එරට ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (Mohamed bin Zayed Al Nahyan) අවධාරණය කරයි. සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ රටේ වෙසෙන සියලුම පුරවැසියන්ගේ, පදිංචිකරුවන්ගේ සහ සංචාරකයින්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තම රජයේ ඉහළම ප්‍රමුඛතාවය බවයි.
මෑතකදී එල්ල වූ ප්‍රහාරවලින් විපතට පත් වූවන් වෙනුවෙන් සිය ශෝකය පළ කළ ජනාධිපතිවරයා, එවැනි තර්ජන මැඩපැවැත්වීමට රටේ ආරක්ෂක අංශ සතු හැකියාව පිළිබඳව විශ්වාසය පළ කළේය. එමෙන්ම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ඔහු, ජනතාවගේ දෛනික ජීවිතයට බාධාවක් නොවන පරිදි උපරිම ආරක්ෂාව තහවුරු කරන බවට සහතික විය. ජාත්‍යන්තර ප්‍රජාව සහ එමීරයේ වෙසෙන විදේශිකයන් තුළ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය තහවුරු කිරීම මෙම ප්‍රකාශයේ ප්‍රධාන අරමුණ වී තිබේ.














