සූරියකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම අද (08) අහමදාබාත්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පිටියට පිවිසෙන්නේ ලෝක ක්‍රිකට් පිටියේ ඉන්දීය ආධිපත්‍යය තවදුරටත් අභියෝගයකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිවයි. මේ වන විටත් පිරිමි විස්සයි20 ලෝක ශූරතාව, කාන්තා එක්දින ලෝක ශූරතාව, වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරතාව සහ චැම්පියන්ස් කුසලානය යන සියල්ලේම හිමිකාරිත්වය දරන්නේ ඉන්දියාවයි.
අද තරගය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ පහත කරුණු නිසාය. රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ලද ගුරුහරුකම් ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමට සූරියකුමාර් ප්‍රමුඛ තරුණ කණ්ඩායමට මෙය කදිම අවස්ථාවකි. 2023 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ අහමදාබාත් ක්‍රීඩාංගණයේදීම ලැබූ දරුණු පරාජයේ මතකය මකා දැමීමට මෙම තරගය ඉන්දීය කණ්ඩායමට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද මහත් පෙළඹවීමක් වී තිබේ.
තමන්ට ලෝක කුසලාන අවසන් මහා තරගයකදී අහමදාබාත්හිදී ඕස්ට්‍රේලියාව හමුවීමට අවශ්‍ය බව නායක සූරියකුමාර් 2025 වසරේදී පවසා තිබුණද, ඕස්ට්‍රේලියාවේ සමීපතම අසල්වැසියා වන නවසීලන්තය අද ඔහු හමුවේ සිටින ප්‍රතිවාදියායි. රෝහිත් ෂර්මා මෙන්ම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන සූරියකුමාර්, අද රාත්‍රියේ අහමදාබාත් ප්‍රේක්ෂකාගාරය ජයග්‍රාහී හඬින් පුරවනු ඇතැයි ඉන්දීය රසිකයෝ දැඩි බලාපොරොත්තුවෙන් පසුවෙති.














