ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධවල සැලකිය යුතු වැඩිවීමක් පසුගිය වසරේ (2025) වාර්තා වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නවතම ප්‍රගති වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවයක කාලය තුළ පමණක් කාන්තාවන්ට එරෙහි අපරාධ 8,870ක් වාර්තා වී ඇති අතර, එය 2024 වසරේ එම කාලසීමාව තුළ වාර්තා වූ අපරාධ 8,047 සමග සැසඳීමේදී පැහැදිලි වර්ධනයකි. වාර්තා වී ඇති අපරාධ සංඛ්‍යාවෙන් 8,430ක් සඳහා විසඳුම් ලබා දීමට බලධාරීන් සමත්ව ඇති අතර, කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රධාන පෙළේ බරපතළ අපරාධ වර්ග 14ක් ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ වන විට හඳුනාගෙන තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාන්තාවන්ට එරෙහි හිංසනය සහ අපරාධ අවම කිරීම වෙනුවෙන් සමාජයේ සියලු පාර්ශවයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් මේ වන විට ආරම්භ කර ඇත. අපරාධ වාර්තා වීම ඉහළ යාමට සමාජ දැනුවත්භාවය වැඩිවීම නිසා පැමිණිලි කිරීමට කාන්තාවන් ඉදිරිපත් වීම ද එක් හේතුවක් විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති. අද වැනි දිනක (මාර්තු 08) සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම දත්ත නිකුත් වීම කාන්තා ආරක්ෂාව පිළිබඳ සංවාදය තවදුරටත් තීව්‍ර කිරීමට සමත් වී තිබේ.














