විධිමත් නොවන සහ වංචනික ලෙස මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන් බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත අහසේ අඳුරු වායු පටලයක් නිර්මාණය වී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (08) අනාවරණය කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ මෙම බාල ගල්අඟුරු රසායනිකව මෙන්ම බලශක්ති උත්පාදනය අතින්ද ඉතා පහළ මට්ටමක පවතින බවත්, ඒවා දහනය කිරීමේදී නිකුත් වන අහිතකර කළු දුමාරය පරිසරයට දැඩි බලපෑම් එල්ල කරන බවත්ය. කොළඹ නගරයට ඉහළින් දර්ශනය වන මෙම අඳුරු වායු ස්තරය ගල්අඟුරු බලාගාරයේ පවතින තාක්ෂණික සහ රසායනික ගැටලුවල සෘජු ප්‍රතිඵලයක් විය හැකි බවට ඔහු සැක පළ කරයි.
මහජන උපයෝගිතා කොමිසමේ දත්ත උපුටා දක්වමින් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අනතුරු ඇඟවූයේ, නිසි ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු තොග කඩිනමින් ගෙන්වා ගැනීමට අපොහොසත් වුවහොත් එළඹෙන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වන විට මෙරට තුළ දැඩි ගල්අඟුරු හිඟයක් ඇති විය හැකි බවයි. විදුලිය යනු ජලය සහ ඔක්සිජන් මෙන් අත්‍යාවශ්‍ය සාධකයක් බැවින්, මෙම අර්බුදය ජන ජීවිතයට මෙන්ම කර්මාන්තශාලාවල පැවැත්මට ද බරපතල ලෙස බලපානු ඇතැයි ඔහු සඳහන් කළේය. 2010 වසරේදී හඳුන්වා දුන් ‘පියස්ස මත සූර්ය බලශක්ති’ වැඩසටහන අද වන විට රටට විශාල සහනයක් වී ඇති බවත්, සති අන්තයේ දිවා කාලයේදී රටේ විදුලි අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාලීමට එම පද්ධති සමත් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ගල්ෆ් කලාපයේ පවතින යුදමය අර්බුදය මෙරට තේ, පොල්, රබර් අපනයනවලට සහ විදේශ රැකියා ක්ෂේත්‍රයට ද බලපෑම් කළ හැකි බැවින්, ලෝකයේ කුමන ප්‍රදේශයක ගැටුම් ඇති වුවද දේශීය බලශක්ති ක්ෂේත්‍රය සුරක්ෂිත කර ගැනීමට විධිමත් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව රණවක මහතා අවධාරණය කළේය. දේශපාලන කතා මගින් ජනතාව රැවටිය හැකි වුවද, තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර හෝ ජාත්‍යන්තර ප්‍රජාව බොරු ප්‍රකාශ මගින් රැවටිය නොහැකි බවත්, නිසි ප්‍රතිපත්තියක් නොමැති වුවහොත් ඉදිරියේදී විදුලි අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇති බවත් ඔහු අවසාන වශයෙන් පෙන්වා දුන්නේය.














