පවතින උග්‍ර උණුසුම් කාලගුණ තත්ත්වය සහ පාසල් නිවාඩු සමය එකිනෙක පතිත වීම හමුවේ නිවෙස්වල රැඳී සිටින සහ එළිමහනේ ක්‍රීඩා කරන දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් අතිශය විමසිලිමත් විය යුතු බවට විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දැඩි අවවාදයක් නිකුත් කර තිබේ. දරුවන් දැඩි අව් රශ්මියට නිරාවරණය වීමෙන් ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ ගොස් දරුණු විජලන තත්ත්වයන්ට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත්, එය හුදෙක් සාමාන්‍ය අපහසුතාවක් පමණක් නොව ඇතැම් අවස්ථාවලදී කම්පන තත්ත්වයන් මෙන්ම හෘදය වස්තුවට සහ මොළයට පවා සෘජු බලපෑම් එල්ල කළ හැකි බරපතල සෞඛ්‍ය අවදානමක් බවත් හෙතෙම පෙන්වා දෙයි.
මෙම අවදානම් සහගත තත්ත්වය හඳුනාගැනීම සඳහා දෙමාපියන් දරුවන්ගේ ශරීරයේ මතු වන රෝග ලක්ෂණ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටිය යුතු අතර, හිසරදය, අධික වමනය, ඇඟපත රිදීම, දැඩි නිදිමත ගතිය, අපහසුතාව, ආහාර අරුචිය සහ මුත්‍රා තද පැහැවීම වැනි විජලනයේ මූලික ලක්ෂණ මතු වූ වහාම සුදුසු ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ. එළිමහනේ ගැවසෙන දරුවන්ට ප්‍රමාණවත් පරිදි නිතර ජලය ලබාදීමට අමතරව තැඹිලි වතුර, ජීවනී, දෙහි, දොඩම්, අඹ, දෙළුම්, කැඳ සහ විවිධ පෝෂ්‍යදායී සුප් වර්ග වැනි ස්වභාවික දියර වර්ග ලබාදීමෙන් ඔවුන්ගේ ශරීර සජලනය ආරක්ෂා කරගත හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
දිගු කාලීන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගැනීම උදෙසා හිරු මුදුන් වන දැඩි අව් රශ්මිය පවතින වේලාවන්හිදී දරුවන් එළිමහන් ක්‍රීඩාවලින් බැහැර කර සරල කපු ඇඳුම් ඇඳීම, හිස් වැසුම් භාවිත කිරීම සහ ගස් සෙවණක් වැනි සිසිල් වාතාශ්‍රය ඇති ස්ථානවල විවේක ගැනීමට සැලැස්වීම වැනි පූර්ව ආරක්ෂක පියවර අනුගමනය කළ යුතුය. පාසල් නිවාඩු සමය තුළ දරුවන්ගේ දෛනික ක්‍රියාකාරකම් සහ ඔවුන් ගත කරන පරිසරය පිළිබඳව දෙමාපියන් මීට වඩා වගකීමෙන් හා කල්පනාකාරීව කටයුතු කිරීම හරහා මෙවැනි කාලගුණික උැරගැටුම් හමුවේ දරුවන් අනපේක්ෂිත සෞඛ්‍ය උපද්‍රවවලින් මුදාගැනීමට හැකි වනු ඇත.
















