කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මගී ජනතාව දැඩි අපහසුතාවකට පත් කරමින් හදිසියේ ක්‍රියාත්මක කළ ජල සැපයුම් අත්හිටුවීමට සැබෑ හේතුව අනාවරණය වී ඇති අතර, එය පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට හා ජල මූලාශ්‍ර වෙත රසායනික ද්‍රව්‍ය මුදාහැරීමේ අතිශය අවදානම් සහගත සිදුවීමක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තහවුරු කර තිබේ. ජල මූලාශ්‍ර වෙත කිසියම් හානිකර අපද්‍රව්‍යයක් හෝ රසායනිකයක් මුසුවී ඇද්ද යන්න පිළිබඳව ක්ෂණිකව අනාවරණය කරගනිමින්, ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස මෙම හදිසි ජල කප්පාදුව ක්‍රියාත්මක කිරීමට සිදුවූ බව බලධාරීහු පෙන්වා දෙති.
මෙම වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙන් ජාතික මට්ටමින් පාරිසරික ආරක්ෂාව සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව දැඩි උැරගැටුමකට ලක්ව ඇති අතර, සිද්ධියේ බරපතලකම සලකා බලා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මේ වන විටත් පොලිසිය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ජනතා සෞඛ්‍යය සමඟ සෙල්ලම් කරන එවැනි ආයතනවල නීතිවිරෝධී ක්‍රියාකලාපයන් හමුවේ රටේ ප්‍රධාන ජල සැපයුම් පද්ධතීන් පවා දැඩි අවදානමකට ලක්වීම ජාතික මට්ටමේ අවධානයට ලක්විය යුතු තත්ත්වයක් බව සමාජ හා පාරිසරික සංවිධාන පෙන්වා දෙති.
සිද්ධිය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ එක්ව පුළුල් හා විධිමත් විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් පවතින අතර, ඉදිරියේදී ඊට සම්බන්ධ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශ වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. ජල පරීක්ෂාවන්හි අවසාන ප්‍රතිඵල මත පදනම්ව කඩිනමින් සාමාන්‍ය ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂිත වුවද, අනාගතයේදී මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන් වැළැක්වීම සඳහා කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කිරීමේ යාන්ත්‍රණය දැඩි නියාමනයකට ලක් කිරීමේ ආයතනික වගකීම තවදුරටත් තීව්ර වී තිබේ.














