ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශවලට එරෙහිව අතිශය විනාශකාරී සුදු පොස්පරස් (White Phosphorus) රසායනික අවි භාවිතා කර ඇති බවට මානව හිමිකම් නිරීක්ෂණාගාරය (Human Rights Watch) අද (09) බරපතල චෝදනාවක් එල්ල කළේය.
මෙම වාර්තාවේ අඩංගු ප්‍රධාන කරුණු මෙසේය. ඉකුත් මාර්තු 03 වැනිදා ලෙබනනයේ යොහ්මෝර් (Yohmor) නගරයේ ජනාවාස ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල වී ඇත. හෙස්බොල්ලා සංවිධානයට පහර දෙන බව පවසමින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර දියත් කර තිබේ. නගරයේ නිවාසවල වහලවල් සහ බැල්කනි මත සුදු පොස්පරස් පතිත වී ගිනි ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප 7ක් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ තහවුරු කර ගැනීමට HRW ආයතනය සමත්ව ඇත.
මෙම රසායනය වාතයට විවෘත වූ සැණින් අධික උෂ්ණත්වයකින් යුතුව ඇවිළෙන අතර, එය මිනිස් සිරුරේ ස්පර්ශ වූ විට ඇටමිදුළු දක්වා මස් දිය කර හැරීමට සමත් වේ. මෙය නිවා දැමීම අතිශය දුෂ්කරය. කෙසේ වෙතත්, ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) පවසන්නේ තමන් මෙය භාවිතා කරන්නේ සතුරාට සිය හමුදා චලනයන් නොපෙනෙන සේ ‘දුම් තිරයක්’ (Smokescreen) නිර්මාණය කිරීමට පමණක් බවයි.
ජාත්‍යන්තර නීතියට අනුව මිනිස් වාසස්ථාන පවතින ප්‍රදේශවල මෙවැනි දහනශීලී අවි භාවිතා කිරීම යුද අපරාධයක් ලෙස සැලකේ. අද (09) දිනයේ ද බීරූට් නුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශවලට (Dahiyeh) ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල වූ බව වාර්තා වේ.














