ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට දේශපාලන රැකවරණය (Asylum) ලබා දෙන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (09) ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලීමක් කළේය. ඔවුන්ව යළි ඉරානයට පිටුවහල් කිරීම “බරපතල මානුෂීය වැරැද්දක්” වනු ඇති බව ඔහු අවධාරණය කරයි.
ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් (Anthony Albanese) වෙත දැනුම් දී ඇත්තේ, මෙම ක්‍රීඩිකාවන් ඉරානයට ගියහොත් ඔවුන් බොහෝ විට ඝාතනය වීමට ඉඩ ඇති බවයි. “අගමැතිතුමනි, එසේ කරන්න එපා. ඔවුන්ට රැකවරණය දෙන්න. ඕස්ට්‍රේලියාව ඔවුන්ව බාර නොගන්නේ නම් ඇමෙරිකාව ඔවුන්ව බාර ගැනීමට සූදානම්,” යනුවෙන් ට්‍රම්ප් එහි සඳහන් කර තිබේ.
වත්මන් ඇමෙරිකා-ඉරාන යුදමය වාතාවරණය හමුවේ ඉරාන රජයට එරෙහිව කටයුතු කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයක් යොමු කර ඇති පසුබිමක ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත.














