බළපිටිය මාදු ගඟේ කිඹුලන්ගෙන් එල්ල වන මරණීය තර්ජන හේතුවෙන් එරෙහි ධීවර සහ සංචාරක කර්මාන්ත දැඩි අර්බුදයකට ලක්ව ඇති බව බළපිටිය ප්‍රාදේශීය සභා රැස්වීමේදී අනාවරණය වී තිබේ.
සභාපති අනුරුද්ධ මහවැලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, මෑතකදී කිඹුල් ප්‍රහාරයකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීම සහ කිඹුල් ගහනය ඉහළ යාම හේතුවෙන් ධීවර පවුල් අන්ත අසරණ වී ඇති බව මන්ත්‍රීවරු පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සභාපතිවරයා සඳහන් කළේ, මාදු ගඟ ආශ්‍රිත ග්‍රාම නිලධාරී වසම් රැසකට බලපා ඇති මෙම ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා ලබන 27 වන දින වනජීවී නිලධාරීන් කැඳවා අවශ්‍ය පියවර ගන්නා බවයි.














