ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධයේ 10 වැනි දිනය වන අද (09) වන විට යුද තත්ත්වය අතිශය භයානක මට්ටමකට පැමිණ තිබේ.
ඉරාන උත්තරීතර නායක අයටොල්ලා අලි කමේනීගේ අභාවයෙන් පසු ඔහුගේ පුත් මොජ්තබා කමේනී නව නායකයා ලෙස පත්ව ඇත. ඔහු යටතේ ඊශ්‍රායලයට එල්ල කළ පළමු මිසයිල ප්‍රහාර මාලාවේ “මොජ්තබා උතුමාණන් ඔබගේ සේවයට පැමිණියා” යනුවෙන් සටහන් කර තිබීම විශේෂත්වයකි. ඊශ්‍රායලය විසින් ඉරානයේ තෙල් ගබඩා සහ සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර දරුණු ප්‍රහාර එල්ල කර ඇති අතර, මේ හේතුවෙන් ටෙහෙරාන් අගනුවර අහස කළු දුමාරයෙන් වැසී ගොස් ඇත. ඉරානය පුරා මේ වන විට 1,255 දෙනෙකු මියගොස් 12,000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඉරානය විසින් ඊශ්‍රායලයට අමතරව තුර්කිය සහ ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකට ද ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර, තුර්කියට එල්ල කළ මිසයිලයක් නේටෝ ආරක්ෂක පද්ධතිය මගින් සාර්ථකව විනාශ කර ඇත. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝක තෙල් සැපයුමෙන් 20%ක් පමණ අඩාල වී ඇති අතර, මේ නිසා බ්‍රෙන්ට් බොරතෙල් මිල බැරලයකට ඩොලර් 115 ඉක්මවා ගොස් තිබේ. වෙළඳ නැව් මාර්ග ආරක්ෂා කිරීම සඳහා ප්‍රංශය සිය යුද නෞකා රතු මුහුදට යැවීමට තීරණය කර ඇති බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා ඇත. මේ අතර, ඇමෙරිකාව සමඟ සටන් විරාමයකට යාමෙන් පලක් නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි දැඩිව ප්‍රකාශ කර තිබේ.














