පානදුර, තල්පිටිය දුම්රිය පාලම අසලදී අද (09) සවස් කාලයේ සිදුවූ දරුණු දුම්රිය අනතුරකින් ඇලන් නැමති 82 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වාද්දුව ප්‍රදේශයේ හෝටලයක නැවතී සිටි මෙම පිරිස බොල්ගොඩ ගඟ අතු ඔයේ සුන්දරත්වය ඡායාරූපයට නැගීම සඳහා දුම්රිය මාර්ගයට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී කළුතර සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක් දැක ඔවුන් කලබලයට පත්ව ඇත. මියගිය පුද්ගලයාගේ හිස දුම්රියේ ගැටී පාලම යට ඇති කළු ගලක් මතට වැටී ඇති අතර, ඔහුගේ 80 හැවිරිදි බිරිඳ, 47 හැවිරිදි සංචාරක මඟ පෙන්වන්නා සහ ඔහුගේ 10 හැවිරිදි පුත්‍රයා දුම්රියෙන් බේරීමට උත්සාහ කිරීමේදී ඔයට වැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ. මෙම විදේශීය යුවළ සහ සංචාරක මඟ පෙන්වන්නා අතර වසර 25ක පමණ දිගුකාලීන මිතුදමක් තිබී ඇති අතර, එදින රාත්‍රියේ මඟ පෙන්වන්නාගේ නිවසේ පැවැති භෝජන සංග්‍රහයකට සහභාගී වීමට නියමිතව සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පින්වත්ත පොලිසිය සඳහන් කරයි.














