මැදපෙරදිග පවතින දරුණු යුදමය තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති තර්ජනය අවම කිරීම සඳහා අවශ්‍ය ඕනෑම මොහොතක සිය උපායමාර්ගික තෙල් සංචිත (Strategic Oil Reserves) මුදාහැරීමට සූදානම් බව G7 රටවල මුදල් අමාත්‍යවරුන් ප්‍රකාශ කර තිබේ. අද (09) පැවැති විශේෂ වීඩියෝ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් අවධාරණය කළේ බලශක්ති වෙළඳපොළේ ස්ථාවරත්වය සහ ආරක්ෂිත වෙළඳ මාර්ග තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරන බවයි.
මෙම සාකච්ඡාව පිළිබඳ පුවත ප්‍රචාරය වීමත් සමඟ, ඊට පෙර 29% කින් පමණ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ බ්‍රෙන්ට් බොරතෙල් මිල යම් මට්ටමක පාලනයකට නතු වූ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, ප්‍රංශය ප්‍රකාශ කර ඇත්තේ තවමත් සංචිත මුදාහැරීමේ නිශ්චිත මට්ටමකට තමන් පැමිණ නොමැති නමුත්, වෙළඳපොළේ සිදුවන වෙනස්කම් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වීමට සූදානමින් සිටින බවයි. බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය රේචල් රීව්ස් ද මෙහිදී අවධාරණය කළේ කලාපීය ස්ථාවරත්වය සහ ගෝලීය මූල්‍ය වෙළඳපොළට එල්ල වන බලපෑම අවම කිරීම G7 රටවල ප්‍රමුඛතම වගකීම බවයි.














