මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් හටගෙන ඇති දැඩි ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පකිස්ථානයේ පංජාබ් ප්‍රාන්ත රජය විසින් හදිසි පියවර රැසක් ප්‍රකාශයට පත් කර තිබේ. පංජාබ් ප්‍රාන්ත මහ ඇමතිනී මරියම් නවාස් විසින් අද (09) නිවේදනය කරන ලද්දේ හෙට සිට එනම් මාර්තු 10 සිට මාර්තු 31 දක්වා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා තබන බවයි.
පාසල්, විද්‍යාල සහ විශ්වවිද්‍යාල වසා තැබුණ ද එම කාලසීමාව තුළ අන්තර්ජාලය හරහා (Online) ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අවසර දී ඇති අතර නියමිත පරිදි විභාග කටයුතු පවත්වනු ලැබේ. රජයේ නිලධාරීන් සඳහා ලබා දෙන පෙට්‍රල් සහ ඩීසල් දීමනා වහාම ක්‍රියාත්මක වන පරිදි 50% කින් අඩු කර ඇති අතර ප්‍රාන්ත අමාත්‍යවරුන්ගේ නිල ඉන්ධන කෝටාව ද අර්බුදය අවසන් වන තෙක් අත්හිටුවා තිබේ. මීට අමතරව ඉන්ධන පිරිමසා ගැනීම සඳහා රජයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන්ට නිවසේ සිට රාජකාරි කිරීමට උපදෙස් දී ඇති අතර අමාත්‍යවරුන්ගේ ආරක්ෂක රථ සංඛ්‍යාව ද සීමා කර ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ඉන්ධන සැපයුම තවදුරටත් අඩාල විය හැකි බැවින්, ඉන්ධන හෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර තබා නොගන්නා ලෙසත් අනවශ්‍ය ලෙස පෝලිම් ඇති නොකරන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. පකිස්ථානයට අමතරව බලුකිස්තානය වැනි අනෙකුත් ප්‍රාන්ත ද මේ වන විටත් මෙවැනි ඉන්ධන පාලන ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් පවතින බව වාර්තා වේ.














