ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම දීර්ඝ කාලීන යුද්ධයක් දක්වා ගෙන යාමට තමන් සූදානම් බව ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අනතුරු අඟවා තිබේ. ඉරාන උත්තරීතර නායකත්වයේ විදේශ ප්‍රතිපත්ති උපදේශක කමල් කරාසි CNN නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේ මේ මොහොතේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා කිසිදු ඉඩක් නොමැති බවයි. මෙම යුද්ධය අවසන් විය හැක්කේ ලෝකයට එල්ල වන ආර්ථික පීඩනය හමුවේ පමණක් බවත්, විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ රටවල් හරහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලපෑම් එල්ල කර මෙම ප්‍රහාර නැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම සහ කලාපීය ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගෝලීය තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර අද (09) වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට ඩොලර් 115 සීමාව ද පසුකර ගොස් තිබේ. යුද්ධයේ 10 වැනි දිනය වන අද වන විටත් ඉරානය ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු අවශ්‍යතා සහිත ස්ථාන, ගුවන් තොටුපළවල් සහ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන යන අතර මීට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ද ඉරානයේ තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණ වෙත දරුණු ප්‍රහාර එල්ල කර ඇත. ඇමෙරිකාව සිය පොරොන්දු කඩකර ඇති බැවින් සටන් විරාමයක් ගැන කතා කිරීමෙන් පලක් නොමැති බවත් දැන් ඉතිරිව ඇත්තේ ප්‍රතිප්‍රහාර දීම පමණක් බවත් පවසන ඉරානයේ යුද උපායමාර්ග නව උත්තරීතර නායක මොජ්තබා කමේනී යටතේ තවත් දැඩි වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.














