G7 මුදල් අමාත්‍යවරුන් සහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) එක්ව තෙල් බැරල් මිලියන 300ක දැවැන්ත හදිසි සංචිතයක් මුදාහැරීමට සූදානම් වුවද, එමගින් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම තාවකාලිකව පාලනය කළ හැකි වුවත් නතර කළ නොහැකි බව ආර්ථික විද්‍යාඥ ෆයිසාල් ඉස්ලාම් (Faisal Islam) පවසයි. මෙම මුදාහැරීමට බලාපොරොත්තු වන ප්‍රමාණය 2022 රුසියානු-යුක්රේන යුද්ධයේදී මුදාහළ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වුවද, එය මුළු ලෝකයේම දින තුනක තෙල් පරිභෝජනයට පවා ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දෙයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ප්‍රවාහනය අඩාල වීමත් සමඟ ගල්ෆ් කලාපයේ රටවල් රැසක් සිය නිෂ්පාදන කටයුතු සීමා කර ඇති අතර ඇතැම් රටවල් සැපයුම් සම්බන්ධයෙන් පවතින නීතිමය වගකීම්වලින් නිදහස් වන ‘Force Majeure’ තත්ත්වයන් පවා ප්‍රකාශයට පත් කර ඇත. තෙල් මිල බැරලයකට ඩොලර් 150 දක්වා ඉහළ යාම වැළැක්වීමට මෙම G7 මැදිහත්වීම උත්සාහ කළද, චීනය, ඉන්දියාව සහ දකුණු කොරියාව වැනි ප්‍රධාන ගැනුම්කරුවන්ගේ ඉල්ලුම හමුවේ එය ප්‍රමාණවත් නොවන බවත්, මේ වන විට යුරෝපයට යාමට තිබූ ඇමෙරිකානු ගෑස් නෞකා පවා ආසියානු වෙළඳපොළ ඉලක්ක කරගෙන ගමන් මග වෙනස් කරමින් පවතින බවත් වාර්තා වේ. තවද, ජෙට් යානා ඉන්ධන සහ පොහොර නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍යවල සැපයුම අඩාල වීම මෙම තෙල් සංචිත මුදාහැරීමෙන් පමණක් විසඳිය නොහැකි බව විශේෂඥයෝ වැඩිදුරටත් අනතුරු අඟවති.














