මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදුකළ මිල සංශෝධනයට සාපේක්ෂව මෙරට ක්‍රියාත්මක සයිනොපෙක් සහ ලංකා IOC සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දමා නව මිල රුපියල් 317ක් ලෙසත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා නව මිල රුපියල් 365ක් ලෙසත් නියම කර ඇත.
ඩීසල් මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 22කින් ඉහළ දමා රුපියල් 303ක් ලෙසත්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ දමා රුපියල් 353ක් ලෙසත් නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ. මීට අමතරව භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195ක් ලෙස සටහන් වේ. ඉන්ධන මිල සූත්‍රයට අනුව අවසන් වරට පසුගිය පෙබරවාරි 28 වැනිදා මිල සංශෝධනයක් සිදුවූ අතර මෙවර මිල ඉහළ යාම හමුවේ පෞද්ගලික බස් සංගම් දැනටමත් ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටින නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ දැනට ගාස්තු ඉහළ නැංවීමේ සූදානමක් නොමැති බවයි.















