මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති සැපයුම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඕනෑම “තීරණාත්මක පියවරක්” ගැනීමට සූදානම් බව G7 රටවල එකමුතුව නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, සිය රටවල් සතු හදිසි බොරතෙල් සංචිත මේ මොහොතේ වෙළෙඳපොළට මුදා නොහැරීමට එම රටවල් තීරණය කර ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සමඟ පැවැති සාකච්ඡාවලදී හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අවහිරතා සහ තෙල් නිෂ්පාදනය සීමා වීම පිළිබඳව අවධානය යොමු වූ අතර, අවශ්‍ය වුවහොත් භාවිතයට ගත හැකි බොරතෙල් බැරල් බිලියන 1.2ක සංචිතයක් තමන් සතු බව එම ඒජන්සිය පවසා ඇත. එහෙත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමත් සමඟ අද (10) දිනයේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල යම් ප්‍රමාණයකට පහත වැටීම හේතුවෙන් හදිසි සංචිත මුදාහැරීමේ අවශ්‍යතාව තවදුරටත් නිරීක්ෂණය කරන බව G7 රටවල් අවධාරණය කරයි.














