ඉරානය සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මිසයිල සහ හමුදා නිරීක්ෂණ යානයක් යෙදවීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අද (10) ප්‍රකාශ කළේ ඉරානයෙන් එල්ල වන අනපේක්ෂිත ප්‍රහාර හමුවේ සිය මිත්‍ර රටවලට සහ කලාපයේ වෙසෙන ඕස්ට්‍රේලියානුවන්ට ආරක්ෂාව සැලසීම මෙහි මූලික අරමුණ බවයි.
මෙම සහයෝගීතාව යටතේ ඕස්ට්‍රේලියාව සතු දියුණුතම E-7A Wedgetail වර්ගයේ පූර්ව ගුවන් අනතුරු ඇඟවීමේ සහ පාලන යානයක් සති හතරක කාලයක් සඳහා කලාපය වෙත යොමු කරනු ඇත. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා උසස් මට්ටමේ මධ්‍යම දුර ගුවන් සිට ගුවන් මිසයිල (AMRAAM) ලබාදීමට ද අග්‍රාමාත්‍යවරයා එකඟ වී තිබේ. කෙසේ වෙතත් ඉරානය තුළ ගොඩබිම් මෙහෙයුම් සඳහා ඕස්ට්‍රේලියානු සෙබළුන් යෙදවීමට අදහසක් නොමැති බවත් මෙම පියවර තනිකරම ආරක්ෂක අරමුණු වෙනුවෙන් පමණක් ගන්නා ලද්දක් බවත් ඔහු අවධාරණය කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ලෝක වෙළඳපොළට තෙල් සහ ස්වභාවික වායු සැපයුම අඩාල වී ඇති පසුබිමක මෙම තීරණය ගෙන තිබේ. යුද්ධය ආරම්භ වන විට මැදපෙරදිග කලාපයේ ඕස්ට්‍රේලියානුවන් 115,000ක් පමණ රැඳී සිටි අතර ගල්ෆ් කලාපයේ නගර කිහිපයකට ඉරාන ප්‍රහාර එල්ල වීමත් සමඟ ඉන් 2,600ක් පමණ මේ වන විට නැවත සිය රට බලා ගොස් ඇත. පවතින අවදානම් තත්ත්වය හමුවේ කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සිය උපරිම දායකත්වය ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














