ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන එලායන්ස් ෆිනෑන්ස් (Alliance Finance Company PLC – AFC), පසුගියදා පැවති 21 වන ACCA ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී “වෙනත් මූල්‍ය සේවා” (Other Financial Services) අංශයේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. පාරිසරික, සමාජීය සහ යහපාලන (ESG) මූලධර්ම තම ව්‍යාපාරික උපායමාර්ගයන් සමඟ සාර්ථකව ඒකාබද්ධ කිරීම වෙනුවෙන් මෙම ඇගයීම හිමි වී තිබේ.
මෙම සම්මානය සඳහා AFC ආයතනය තෝරා ගැනීමට මූලික වූ හේතුවක් ලෙස විනිශ්චය මණ්ඩලය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ හරිත බැඳුම්කර (Green Bonds) නිකුත් කිරීම සහ ඒවා ලක්සම්බර්ග් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරමින් ජාත්‍යන්තර තිරසාර රාමු සමඟ අනුකූල වීමයි. එමෙන්ම ආයතනය ලබන බදු පසු ලාභයෙන් (PAT) 8%ක් තිරසාර මුලපිරීම් සඳහා වෙන් කිරීම හරහා ESG මූලධර්ම කෙරෙහි දක්වන දැඩි කැපවීම ද මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.
1956 වසරේ ආරම්භ වූ එලායන්ස් ෆිනෑන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර, 2012 වසරේ සිටම “මිනිසුන්, පෘථිවිය සහ ලාභය” (People, Planet and Profit) යන ත්‍රිවිධ මූලධර්මය මත පදනම්ව සිය කටයුතු මෙහෙයවයි. සිය 70 වන වසරට එළඹෙන අවස්ථාවේදී හිමි වූ මෙම සම්මානය, ආයතනයේ විනිවිදභාවය සහ වගකීම් සහගත මූල්‍යකරණය පිළිබඳ ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නකි.














