ශ්‍රී ලංකා රජයේ රෝහල් පද්ධතියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය සහිත අතිනවීන MRI ස්කෑන් යන්ත්‍රයක් කොළඹ ජාතික රෝහලේදී ඊයේ (09) පස්වරුවේ සිට රෝගී සත්කාරක සේවා සඳහා එක් කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළ මෙම යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා වත්මන් රජය රුපියල් මිලියන 450කට අධික මුදලක් වැය කර ඇති අතර මෙවැනි ඉහළ තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් රජයේ රෝහලක ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ. විශේෂයෙන්ම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සහ ස්නායු ශල්‍ය අංශයේ ප්‍රතිකාර සේවාවන් වඩාත් විධිමත්ව සහ කඩිනමින් සිදු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර ඒ හරහා රෝග විනිශ්චය සඳහා ගතවන කාලය අවම කරමින් වඩාත් නිරවද්‍ය දත්ත ලබා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙනු ඇත.
පසුගිය කාලසීමාව පුරා කොළඹ ජාතික රෝහලේ පැවති MRI යන්ත්‍ර 03ම වරින් වර අක්‍රීය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටි අතර නව රජය බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සෘජු මැදිහත්වීම මත එම යන්ත්‍ර 03ම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණි. එම යන්ත්‍ර තුනට අමතරව මෙම නව AI තාක්ෂණය සහිත යන්ත්‍රය ද එක්වීමත් සමඟ දැන් ජාතික රෝහල සතුව සක්‍රීය MRI යන්ත්‍ර 04ක් පවතින බැවින් රෝගීන්ට පෝලිම්වල රැඳී සිටීමට සිදුවන කාලය සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ ඇතුළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














