මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා තමන්ට පනවා තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළා. මග නැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන ගණනක රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත පනවා තිබූ නඩුවකට අදාළව ඔහුට මොරටුව නගර සභාවට ඇතුළු වීම තහනම් කර තිබුණත් එම නියෝගය නොතකා ඔහු එහි ගොස් ඇති බව විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නා. විශේෂයෙන්ම සාක්ෂිකරුවන්ට සහ සාක්ෂිවලට බලපෑම් වන අයුරින් සැකකරු කටයුතු කර ඇති බවට නාගරික කොමසාරිස්වරිය කළ පැමිණිල්ලක් ද මෙහිදී අවධානයට ලක් වූ අතර ඔහු කිහිප වරක්ම නගර සභාවට ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ තම සේවාදායකයා නගර සභාවට ගියේ පෞද්ගලික මුදල් ගෙවීමකට මිස සාක්ෂි වැනසීමට නොවන බවයි. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ ඇප කොන්දේසි ලිහිල් කිරීම විමර්ශනවලට බාධාවක් විය හැකි බවයි. ඒ අනුව විමර්ශන අවසන් වන තෙක් නගර සභාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කළ අධිකරණය යම් හෙයකින් නැවතත් ඇප කොන්දේසි කඩ කළහොත් නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සැකකරුට දැඩිව අවවාද කළා. මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාවක් ලබන මාර්තු 31 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














