ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙකු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කොරියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ E-8 වීසා ලබාදෙන බව පවසමින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 34 බැගින් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම ජාවාරම වඩාත් සූක්ෂ්ම ලෙස මෙහෙයවීම සඳහා සැකකරු විසින් මුදල් ලබාදෙන පුද්ගලයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශ මූලස්ථානය ඉදිරිපිටට කැඳවා තමන් එහි සේවකයෙකු බවට විශ්වාසය ඇති කරවන අයුරින් කටයුතු කර තිබීම විශේෂත්වයක්. ලැබුණු පැමිණිලිවලට අනුව මිරිහාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී E-8 වීසා අයදුම්පත් රැසක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකළ මෙම වැටලීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් කෙරුණා.














