කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (10) අඹේවෙල මිල්කෝ සමාගමේ විශේෂ නිරීක්ෂණයකට එක් වෙමින් ප්‍රකාශ කළේ, මෙරට කිරි නිෂ්පාදනයේ පවතින 60%ක හිඩැස පියවා ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ වූ වේගවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. පසුගිය රජය සමයේ විකිණීමට නියමිතව තිබූ මිල්කෝ ආයතනය වත්මන් රජය යටතේ ලාභ ලබන තත්ත්වයට පත් කර ඇති අතර, එම ලාභාංශ සේවකයන් සහ ගොවියන් අතර බෙදා දීමට ද පියවර ගෙන තිබේ.
ලෝකයේ පවතින යුදමය වාතාවරණය හමුවේ රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නම් ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ජනාධිපතිවරයා විසින් අයවැය මගින් වෙන් කළ ප්‍රතිපාදන යොදා ගනිමින් ‘Dairy Hub’ නමින් ජාතික වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර ඇති බවත්, රාජ්‍ය ප්‍රතිපත්ති සහ නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම සංචාරයේදී අඹේවෙල සමාගම මගින් ගොවියන් වෙත කිරි ගවයින් දස දෙනෙකු පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ද අමාත්‍යවරයා සහභාගී විය.














