කොළඹ කොටස් වෙළඳපොළ (CSE) සිය රට පුරා ව්‍යාප්ත වීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින්, සිය නවතම ප්‍රාදේශීය ශාඛාව කෑගල්ලේදී නිල වශයෙන් විවෘත කරන ලදී. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, කොළඹ කොටස් වෙළඳපොළ අධ්‍යක්ෂ කොසල ගමගේ සහ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළඳපොළ ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි සිය ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට සමත්ව තිබේ. කෑගල්ල ශාඛාව හරහා කොටස් තැන්පතු (CDS) ගිණුම් විවෘත කිරීම, කොටස් තැරැව්කාර සමාගම් සමඟ සම්බන්ධ වීම, ආයෝජක අධ්‍යාපනික වැඩමුළු සහ කොටස් වෙළඳපොළ ආයෝජන පිළිබඳ පෞද්ගලික මගපෙන්වීම් ලබා ගැනීම වැනි සේවාවන් රැසක් ප්‍රදේශයේ ජනතාවට හිමි වේ.
කෑගල්ල ප්‍රදේශයේ පවතින දියුණු කෘෂිකාර්මික අංශය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SME) සිය ව්‍යාපාරික කටයුතු සඳහා ප්‍රාග්ධනය සපයා ගැනීමට මෙම ශාඛාව මහඟු අවස්ථාවක් වනු ඇතැයි කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ඉදිරි වසර තුන ඇතුළත ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 289 සිට 500 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය සපුරා ගැනීමට ද මෙවැනි ශාඛා ව්‍යාප්තියක් අත්‍යවශ්‍ය වන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිසාබණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














