ශ්‍රී ලංකාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී (CIMA) වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Nanaska ආයතනය, සිය පාලන ව්‍යුහය වඩාත් විධිමත් කරමින් නව විධායක නොවන අධ්‍යක්ෂවරුන් දෙපළක් සහ නව විධායක කළමනාකාරීත්ව කණ්ඩායමක් පත් කර තිබේ. ඒ අනුව, උපායමාර්ගික උපදේශනය සහ ආයතනික නායකත්වය පිළිබඳ දෙස් විදෙස් අත්දැකීම් බහුල අර්ජ් විග්නරාජා මහතා සහ නිරංජන් විජේසේකර මහතා අධ්‍යක්ෂ මණ්ඩලයට එක්ව ඇත. අර්ජ් විග්නරාජා මහතා අමෙරිකාවේ ‘Boston Consulting Group’ සහ ශ්‍රී ලංකාවේ ‘Stax Consulting’ ආයතනවල ඉහළ තනතුරු හොබවා ඇති අතර, නිරංජන් විජේසේකර මහතා MAS Holdings ආයතනයේ දශක දෙකකට අධික කාලයක් ප්‍රධාන විධායක නිලධාරී තනතුරු රැසක් හොබවා ඇති ප්‍රවීණයෙකි. ඔවුන්ගේ අත්දැකීම් Nanaska ආයතනයේ ඉදිරි ගෝලීය වර්ධනයට සහ යහපාලනයට විශාල ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආයතනයේ විධායක කළමනාකාරීත්ව කණ්ඩායම ද ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව ප්‍රතිසංවිධානය කර ඇත. Nanaska නිර්මාතෘ සහ ප්‍රධාන දේශකයා වන චන්න ගුණවර්ධන මහතා, දංකොටුව පෝසිලේන් PLC හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ලෙස ද කටයුතු කරමින් සිය උපායමාර්ගික දැනුම ආයතනය වෙත ලබා දෙයි. සාර්ථක ව්‍යවසායිකාවක වන වත්සලා අත්තනායක මහත්මිය, ‘Panthera’ ඇඟලුම් සන්නාමයේ නිර්මාතෘවරිය ලෙස ඇය සතු වෙළඳ නාමකරණ සහ පාරිභෝගික කේන්ද්‍රීය දැනුම ආයතනයේ වාණිජමය දිශානතියට එක් කරයි. මීට අමතරව, ආරම්භයේ සිටම ආයතනයේ මෙහෙයුම් කටයුතුවල නිරත වෙමින් එහි වර්ධනයට ප්‍රබල දායකත්වයක් ලබා දුන් අකලංක රණසිංහ මහතා සහ ආයතනය දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ඉදිරියට ගෙනයාමේ වගකීම දරන ප්‍රධාන විධායක නිලධාරී අලි රහීම් මහතා ද මෙම කණ්ඩායමට ඇතුළත් වේ.
මෙම නව පත්වීම්වලට සමගාමීව, CIMA සිසුන්ගේ අධ්‍යාපන අත්දැකීම ඉහළ නැංවීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ ‘Nanaska Edge’ නමැති නවතම ඉගෙනුම් වේදිකාව ද ආයතනය විසින් හඳුන්වා දී ඇත. මෙමගින් සිසුන්ට පුද්ගලීකරණය කළ සහය, අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් අත්දැකීම් සහ ක්ෂණික ප්‍රතිචාර ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ශක්තිමත් පාලන ව්‍යුහයක්, පළපුරුදු නායකත්වයක් සහ නවීන තාක්ෂණය භාවිත කරමින් වෘත්තීය ප්‍රජාවට ඉහළ වටිනාකමක් ලබා දීමට Nanaska ආයතනය මෙලෙස සිය සූදානම තහවුරු කර තිබේ.














