ඉතියෝපියාවේ ගාමෝ (Gamo) කලාපයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ දරුණු නායයෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම ස්වාභාවික විපතින් පුද්ගලයන් 128 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා සහන සේවා කණ්ඩායම් පුළුල් මෙහෙයුම් දියත් කරමින් සිටියි.
මියගිය පිරිසෙන් බහුතරයක් පස් කඳුවලට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස විශාල සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවත් වාර්තා වේ. බලපෑමට ලක් වූ නිවාස සහ දේපළ හානි පිළිබඳ නිශ්චිත ගණනය කිරීම් බලධාරීන් විසින් මේ වන විටත් සිදු කරමින් පවතී.
එම කලාපයේ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් සහන මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති අතර, තවදුරටත් නායයෑම් සිදුවීමේ අවදානමක් පවතින බැවින් අවට පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ඉතියෝපියානු බලධාරීන් සඳහන් කරයි.














