මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය නොසන්සුන්තාව හමුවේ ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා සහාය වන ලෙස කළ ඉල්ලීමට ඉන්දියාව සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බව රජය නිවේදනය කරයි. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ කළ සංචාරය අතරතුර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සමඟ පැවති නිල හමුවේදී මෙම ඉල්ලීම සිදු කර තිබේ.
මැදපෙරදිග යුද තත්ත්වය දිගුකාලීනව පැවතුණහොත් මෙරට බලශක්ති ආරක්ෂාවට එල්ල විය හැකි අවදානම පිළිබඳව අමාත්‍යවරයා එහිදී කරුණු පෙන්වා දී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග අඛණ්ඩව ලබා ගැනීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් මේ වන විටත් අවධානය යොමු කරමින් සිටින බව ඉන්දීය පාර්ශවය දැනුම් දී තිබේ.
මෙම පියවරේ ප්‍රධාන අරමුණ වන්නේ ලෝක වෙළඳපොළේ පවතින අවිනිශ්චිතභාවය හමුවේ ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ සහ සුරක්ෂිත ඉන්ධන සැපයුමක් පවත්වාගෙන යාම තහවුරු කිරීමයි. මේ හරහා මෙරට ජනතාවට සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ඇතිවිය හැකි බලපෑම අවම කර ගැනීමට රජය අපේක්ෂා කරයි.














