ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් දැවැන්ත අවි සහ මත්ද්‍රව්‍ය තොගය අද (12) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය. මෙය නාවික හමුදාව විසින් ඉතිහාසයේ මහා මුහුදේදී අත්අඩංගුවට ගත් විශාලතම ගිනිඅවි තොගය ලෙස වාර්තා වන අතර, රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් ද එහි තිබී සොයාගෙන ඇත. මාර්තු 08 වනදා දකුණු මුහුදේ දියත් කළ මෙම විශේෂ මෙහෙයුමේදී බහුදින ධීවර යාත්‍රා දෙකක් සමඟ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට පත් විය.
මෙම වැටලීමේදී බෙල්ජියම, චීනය සහ එක්සත් රාජධානිය වැනි රටවල නිෂ්පාදිත නවීනතම පිස්තෝල 8ක්, T56 ගිනිඅවි 2ක් සහ මෙරට විශේෂ බලකායන් පමණක් භාවිත කරන අධි බලැති M16 වර්ගයේ ගිනිඅවියක් ද හමුවී තිබීම විශේෂත්වයකි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම අවි ආයුධ කුලී පදනම මත මෙරට අපරාධකරුවන්ට ලබාදීමට සැලසුම් කර තිබූ බවයි. මෙම මත්ද්‍රව්‍ය සහ ආයුධ තොගය අරාබි මුහුදේදී ඉරාන නෞකාවකින් ලබාගෙන ඇති බවට සැක කෙරෙන අතර, මෙහි ප්‍රධාන ජාවාරම්කරුවන් ලෙස විදෙස්ගතව සිටින ‘පරෙවි සුදා’ සහ ‘අංගොඩ ප්‍රියංකර’ නමැත්තන් හඳුනාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇත්තේ ධීවර රැකියාවට යන මුවාවෙනි. මාසයකට සරිලන ආහාර රැගෙන ගියද මාස දෙකහමාරක් මුහුදේ රැඳී සිටීමට සිදුවීම නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නා විට දැඩි කුසගින්නෙන් පසුවී ඇති අතර, යාත්‍රාවේ සිටි ඇබ්බැහි වූවන් දෙදෙනෙකු උරවල තිබූ හෙරොයින් පවා භාවිත කර ඇත. තොරතුරු හෙළිවන පරිදි යාත්‍රාවේ ස්කිපර්වරයාට රුපියල් ලක්ෂ 30ක් සහ ඔත්තු බැලූ දෙවන යාත්‍රාවේ ස්කිපර්වරයාට ලක්ෂ 25ක මුදලක් ජාවාරම්කරුවන් විසින් පොරොන්දු වී තිබේ. දැනට අත්අඩංගුවට ගෙන ඇති යාත්‍රා හිමිකරුට යාත්‍රා 6ක් ඇති අතර මීට පෙර සීෂෙල්ස්හිදී ගිනි තැබීමට ලක්වූ යාත්‍රා දෙකක් ද ඔහුට අයත් ඒවා බව අනාවරණය විය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ත්‍රස්ත මර්දන කොට්ඨාසය එක්ව මෙම ජාලය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.














