ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙස්ට් බ්ලූම්ෆීල්ඩ් (West Bloomfield) හි පිහිටි Temple Israel සිනගෝගයට ඊයේ (මාර්තු 12) එල්ල වූ ප්‍රහාරයේ සැකකරු සම්බන්ධයෙන් තීරණාත්මක තොරතුරු රැසක් මේ වන විට විදේශීය මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ. ආරක්ෂක අංශ විසින් සැකකරු වෙඩි තබා ඝාතනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වූ නවතම තොරතුරු මෙසේය.
අදාළ පුද්ගලයා ඩියර්බෝර්න් හයිට්ස් (Dearborn Heights) හි පදිංචිව සිටි 40 හැවිරිදි අයිමන් මොහොමඩ් ගසාලේ (Ayman Mohamad Ghazali) ලෙස හඳුනාගෙන ඇත. ඔහු 2011 වසරේදී ඇමෙරිකාවට පැමිණ 2016 දී එරට පුරවැසිභාවය ලබාගත් ලෙබනන ජාතිකයෙකි. සැකකරු මෝටර් රථයකින් සිනගෝගයේ දොරටු කඩාගෙන ඇතුළත පිහිටි ශාලාවක් දක්වා රථය පදවා ඇති අතර ඉන්පසු රයිෆලයකින් වෙඩි තැබීම ආරම්භ කර තිබේ. රථය තුළ පුපුරණ ද්‍රව්‍ය (Mortar-type explosives) තිබී ඇති අතර ප්‍රහාරය අතරතුර රථය ගිනිගෙන ඇත.
වාර්තා වන පරිදි මීට දින දහයකට පමණ පෙර ලෙබනනයේ මෂ්ගරා (Mashghara) ගම්මානයට ඉශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මොහුගේ සහෝදරයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙම ශෝකජනක පුවත නිසා ඔහු දැඩි මානසික පීඩනයකින් පසුවී ඇති අතර ප්‍රහාරයට පෙර සිය දරුවන් බලාගන්නා ලෙස දන්වා ඔහු සිය හිටපු බිරිඳට දුරකථන ඇමතුමක් ද ලබා දී ඇත. සිනගෝගයේ සිටි ළමුන් 140 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කිරීමට එහි සිටි ආරක්ෂක නිලධාරීන් සමත් වී තිබේ. සැකකරුගේ රථයට යට වූ එක් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තවත් නිලධාරීන් 30 දෙනෙකු දුමාරය ආග්‍රහණය වීම නිසා ප්‍රතිකාර ලබා ඇත. එෆ්.බී.අයි. (FBI) ආයතනය පවසන්නේ මෙය යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදුකළ සැලසුම් සහගත ප්‍රහාරයක් බවයි. ඉරාන-ඇමෙරිකානු යුද්ධය සහ මැදපෙරදිග නොසන්සුන්තාවය මෙම ප්‍රහාරය සඳහා සෘජුවම බලපා ඇති බවට සැක පළ කෙරේ.














