වොෂින්ටන් ඩී.සී. අගනුවර ආසන්නයේ පිහිටි රේගන් ජාතික ගුවන්තොටුපළේ ඊයේ (මාර්තු 12) උදෑසන “සැකකටයුතු පාර්සලයක්” හමුවීමත් සමඟ එහි ‘Concourse D’ පර්යන්තය වහාම ක්‍රියාත්මක වන පරිදි හිස් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය විය.
මෙට්‍රොපොලිටන් වොෂින්ටන් ගුවන්තොටුපළ අධිකාරිය (MWAA) පවසන පරිදි, උදෑසන 9:00 ට පමණ සේවක විවේකාගාරයක තිබී මෙම සැකකටයුතු පාර්සලය හමුවී ඇත. වහා ක්‍රියාත්මක වූ ගුවන්තොටුපළ පොලිසිය ආරක්ෂක වළලු යොදවා මගීන් එම ප්‍රදේශයෙන් ඉවත් කළ අතර, අදාළ පාර්සලය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. ඇමෙරිකන් එයාර්ලයින්ස් (American Airlines) ගුවන් ගමන් මෙහෙයවන පර්යන්තය මෙලෙස වසා දැමීම නිසා ගුවන් ගමන් රැසක් ප්‍රමාද වීමට ද මෙය හේතු විය.
ඇමෙරිකානු රජයේ අර්ධ වශයෙන් වැඩ නතර කිරීම (Government shutdown) හේතුවෙන් ප්‍රවාහන ආරක්ෂක පරිපාලන (TSA) නිලධාරීන්ට වැටුප් ගෙවීම් පවා ඇනහිට ඇති පසුබිමක මෙවැනි ආරක්ෂක ගැටලුවක් මතු වීම බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. මෙම පාර්සලය සැකකටයුතු ලෙස සැලකීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය කර නොමැති අතර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකය.














