දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය සහ ගිනිඅවි 11ක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබේ.
මෙම දැවැන්ත ජාවාරම පිටුපස සිටින ජාත්‍යන්තර ජාලයන් සහ මෙරට ඒජන්තවරුන් හඳුනා ගැනීම විමර්ශන කණ්ඩායම්වල ප්‍රධාන ඉලක්කය වී ඇත. අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා සහ සැකකරුවන් හරහා ලැබුණු තොරතුරු මත, මෙම අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත බෙදා හැරීමට සැලසුම් කර තිබුණේ ද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු වී පවතී.
විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය උපයෝගී කර ගනිමින් මුහුදු මාර්ග ඔස්සේ මෙවැනි නීතිවිරෝධී ජාවාරම් ඉහළ ගොස් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවා ඇත. “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව සිදුවන මෙම විමර්ශනය මගින් මත්ද්‍රව්‍ය උවදුර පමණක් නොව, රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීතිවිරෝධී ගිනිඅවි සංසරණය වීම වැළැක්වීමට ද පියවර ගනු ලබයි.














