ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මන්නාරමට උතුරින් වූ ප්‍රදේශයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු (02) සිය භාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (13) සමත් විය.
නාවික හමුදාව සඳහන් කරන පරිදි, උතුරු මැද නාවික විධානයට අයත් යාත්‍රා මන්නාරම් මුහුදේ මුර සංචාරයේ යෙදී සිටියදී ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මසුන් අල්ලන ආකාරය නිරීක්ෂණය වී තිබේ. එහිදී නාවික හමුදාව විසින් එම යාත්‍රා පලවා හැරීමට කටයුතු කළ අතර, දිගින් දිගටම මෙරට සීමාවේ රැඳී සිටි එක් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. මැදපෙරදිග යුදමය තත්ත්වය සහ කලාපීය ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු වී ඇති මෙවන් වකවානුවක, මෙරට සමුද්‍රීය සම්පත් සුරැකීම සඳහා නාවික හමුදාව සිය මෙහෙයුම් තවදුරටත් දැඩි කර ඇත.














