2026 වසරේ රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය අතීත චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරමින් මහනුවර ඓතිහාසික නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. මේ පිළිබඳව දැනුවත් කිරීමට සහ අනුශාසනා ලබා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (13) මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහානායක හා අනුනායක ස්වාමින් වහන්සේලා බැහැදැක ආරාධනා කළේය.
මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤානරතන හිමි ඇතුළු අනුනායක හිමිවරුන් මෙහිදී සිය ප්‍රසාදය පළ කළහ. මහනුවර රාජධානිය පැවති සමයේ සිංහල අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී රජ මාලිගයට සහ දළදා මාලිගයට හිමි වූ ප්‍රමුඛස්ථානය වර්තමානයේදී ද එලෙසින්ම සුරැකීමට කටයුතු කිරීම අතිශය වැදගත් බව උන්වහන්සේලා අවධාරණය කළහ.
මෙවර මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක ඒකාබද්ධ සංවිධානයෙන් පැවැත්වේ. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.














