මහාධිකරණවල නඩු කටයුතු අවසන් වූ අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීම අද (13) දින සිදුකෙරුණි. වනාතවිල්ලුව, ලැක්ටොවත්ත ප්‍රදේශයේ පිහිටි විශේෂ දහන උඳුනේදී මෙම විනාශ කිරීම් සිදුකළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.
අද විනාශ කරන ලද මත්ද්‍රව්‍ය තොගයට හෙරොයින් කිලෝ 59යි ග්‍රෑම් 539ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132ක්, කොකේන් ග්‍රෑම් 55ක් සහ මත්පෙති 3,482ක් ඇතුළත් විය. මීට අමතරව රජයේ රස පරීක්ෂක කාර්යාලයේ තිබූ නඩු කටයුතු අවසන් වූ නඩු භාණ්ඩ 1,500ක් පමණ ද කොළඹ සහ බලපිටිය මහේස්ත්‍රාත්වරුන් ඉදිරියේ විනාශ කිරීමට පියවර ගැණුනි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දත්තවලට අනුව, පසුගිය ජනවාරි මාසයේ විනාශ කළ කිලෝ 178ක ප්‍රමාණයත් සමඟ මේ වසරේ මේ දක්වා විනාශ කර ඇති මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 378කි. “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 63,065 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොග රැසක් පොලිස් භාරයට ගෙන ඇත.














