බටහිර ඉරාකයට ඉහළින් පියාසර කරමින් තිබූ එක්සත් ජනපද හමුදාවට අයත් KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එහි සිටි පිරිස සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) තහවුරු කරයි. ඉරානයට එරෙහිව ක්‍රියාත්මක මෙහෙයුම් සඳහා සහය වෙමින් සිටියදී මෙම යානය අනතුරට ලක්ව ඇත.
මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූවක් නොවන බව මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබේ. ගුවනේදී එක් යානයක සිට තවත් යානයකට ඉන්ධන පිරවීමට (Aerial Refueling) උත්සාහ කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇතැයි සැක කෙරේ. මෙහෙයුමට සම්බන්ධ වූ අනෙක් යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව BBC පුවත් සේවය වාර්තා කළේය.
බෝයිං සමාගම නිෂ්පාදනය කරන KC-135 යානා ප්‍රහාරක ජෙට් සහ බෝම්බ හෙළන යානාවල පියාසර පරාසය වැඩි කිරීම සඳහා ඉන්ධන සැපයීමට යොදා ගන්නා අතර, ඒවා එක්සත් ජනපද ගුවන් මෙහෙයුම්වල තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ මෙවැනි අනතුරක් සිදුවීම අමෙරිකානු ගුවන් මෙහෙයුම්වලට දැඩි බලපෑමක් වනු ඇතැයි ආරක්ෂක අංශ පෙන්වා දෙයි.














