ඉරානයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය මධ්‍යයේ එරට සමස්ත අන්තර්ජාල සේවාවන් බිඳ වැටී අදට (13) දින 14ක් ගතවී තිබේ. සයිබර් ආරක්ෂණ සහ අන්තර්ජාල නිදහස පිළිබඳ නිරීක්ෂණ ආයතනයක් වන NetBlocks වාර්තා කරන පරිදි, පසුගිය පැය 312ක කාලය පුරාම ඉරානයේ අන්තර්ජාල සම්බන්ධතාව සාමාන්‍ය මට්ටමට වඩා 1%ක් වැනි ඉතා අවම අගයක පවතී.
අල්ජසීරා පුවත් සේවය උපුටා දක්වමින් NetBlocks ආයතනය පෙන්වා දෙන්නේ, මෙම දීර්ඝකාලීන බිඳවැටීම හේතුවෙන් එරට තොරතුරු හුවමාරුව සහ සිවිල් ජනතාවගේ දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී ඇති බවයි. මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ සන්නිවේදන යටිතල ව්‍යුහයන්ට එල්ල වූ ප්‍රහාර මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති බව විශ්ලේෂකයෝ පවසති.
සමස්ත රටම පාහේ ඩිජිටල් අඳුරු වීමකට (Digital Blackout) ලක්ව ඇති මෙම පසුබිම තුළ, ඉරානයේ සැබෑ තත්ත්වය ලෝකයට වාර්තා වීම ද දැඩි ලෙස සීමා වී තිබේ. මෙය වර්තමාන යුද ඉතිහාසය තුළ එක් රටක අන්තර්ජාලය අඛණ්ඩව බිඳ වැටී පැවති දීර්ඝතම අවස්ථාවක් ලෙස ද සැලකේ.














