ඇමරිකාව, ඉශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය හැඟීම්බර හෝ මතවාදී පදනමකින් තොරව ක්‍රියාත්මක විය යුතු බව ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් නිරූපමා මෙනන් රාඕ (Nirupama Menon Rao) පවසයි. X පණිවුඩයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ ඉන්දියාව ඉශ්‍රායලයට, ඇමරිකාවට හෝ ඉරානයට පක්ෂ හෝ විපක්ෂ වීම නොව, තම ජාතික අවශ්‍යතා මත පදනම්ව බුද්ධිමත් තීරණ ගැනීම වැදගත් බවයි.
විශේෂයෙන්ම ඉරානයට එල්ල වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව අරාබි රටවල් මෙන්ම තෙල් වෙළඳ මාර්ග වෙත ගැටුම ව්‍යාප්ත වීමේ අවදානම හමුවේ ඉන්දියාව “ඉශ්‍රායල ඊර්ෂ්‍යාවකින්” (Israel envy) කටයුතු නොකළ යුතු බව ඇය අවධාරණය කරයි. ඉන්දියාවේ ස්ථාවරය තීරණය විය යුත්තේ කලාපීය ස්ථාවරත්වය සහ බලශක්ති ආරක්ෂාව වැනි ප්‍රායෝගික කරුණු මත මිස, අතීත බැඳීම් හෝ ආවේගශීලී හේතු මත නොවන බව ඇයගේ අදහසයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා ඉරාන නායකත්වය සමඟ සාකච්ඡා පවත්වමින් සාමය වෙනුවෙන් මැදිහත් වීම නිවැරදි ප්‍රවේශයක් බව පෙන්වා දෙන ඇය, ඉන්දියාව ලෝක බලවතුන් අතර සමබරව කටයුතු කළ යුතු බව ද සඳහන් කර සිටියි. මැදපෙරදිග අර්බුදය තවදුරටත් උග්‍ර වීම ඉන්දියාවේ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරන බැවින්, රාජ්‍යතාන්ත්‍රිකව මෙම ගැටලුව දෙස බැලීම අත්‍යවශ්‍ය වේ.














